ගුවන් ගමන් ඉතිහාසයේ නොමැකෙන කාන්තා සළකුණ – ඇමීලියා ඉයර්හාර්ට්

අන්තර්ජාලය ඇසුරින් චමිත් ජයවීර විසිනි.

ෆිලඩෙල්ෆියා හිදී ඇමීලියා ඉයර්හාර්ට් ඇගේ autogiro (ස්වයංක්‍රීය පියාපත් නියාමනයක් සහිත) ගුවන් යානයේ නියමු කුටියේ සිට කාන්තාවක මෙවන් යානයක ළඟා වූ උපරිම පියාසර උස සඳහා වාර්තාවක් හිමිකරගත් මොහොතේ

ගුවන් ගමන් ඉතිහාසයේ වැඩිපුරම කතා බහට ලක් වූ කාන්තා චරිතය ඇයයි. කාන්තාවන් වෙනුවෙන් ගුවනේ එතරම් ඉඩක් වෙන් නොවුනු 19 වන සියවසේ එහි ජය කෙහෙළි නැංවූ ඇය අත්ලාන්තික් සාගරය හරහා පියාසර කළ ලොව පළමු කාන්තාවයි. ඒ 1928 දීය. ඉන් නොනැවතුනු ඇය කාන්තාවක ලෙස ගුවන් නියමු ක්ශේත්‍රයේ වාර්තා රැසකට හිමිකම් කී අතර 1937 වසරේ තවත් ලෝක වාර්තාවක් අභියස, එනම් සමකය ඔස්සේ ලොව වටා ගුවන් චාරිකාව අවසන් මොහොතේ අභිරහස් ලෙස අතුරුදන් ව ගියාය. මේ ඇයගේ කතාවයි.

1897 ජූලි 24 ඇමරිකාවේ ඇචිසන් හි කෙන්සාස් නගරයේ උපන් ඇමීලියා මේරි ඉයර්හාර්ට් පවුලේ වැඩිමලා වූ අතර ඈට මුරියෙල් නමින් තවත් බාල නැගනියක සිටියාය. එවකට ගුවන් සංදර්ශන සහ පෞද්ගලික ගුවන් ගමන් පිණිස පමණක් කුඩා ගුවන් යානා භාවිතා වූ අතර ඇමීලියාට කැලිෆෝනියාවේ පැවති එවන් ගුවන් සංදර්ශනයකදී පළමු ව ගුවන් යානයක් පැදවීමේ අදහස සිතට කා වැදී ඇත. ඒ 1920 ඔක්තෝබර් 28 දින නියමු ෆ්‍රෑන්ක් හෝව්ක්ස් ඇමීලියාට ලබා දුන් ගුවන් අත්දැකීම ඈ පසුව මෙසේ විස්තර කරන්නීය. “ඒ කුඩා රතු පැහැති ගුවන් යානය ගුවන් තලයේ පිහිනා ගිය විලාසය මට යමක් පැවසුවා. එදින මම අඩි දෙසීය, තුන්සීයකට වඩා ඉහළට පියාසර නොකලත් කෙදිනක හෝ මා පියාසර කළ යුතු බව වටහා ගත්තා.”.

ඇමීලියා සහ මුරියෙල් ඉයර්හාර්ට් සහෝදරියන්

1915 හයිඩ් පාර්ක් පාසෙලෙන් මූලික අධ්‍යාපනය හමාර වූ පසු 1921 ජනවාරි 3 ඇගේ පළමු පියාසර පාඩම ලද අතර මාස 6කින් පසුව ඉතුරු කර ගත් මුදල් සහ ඇගේ නැගනියගේ ද සහය ඇතිව පාවිච්චි කරන ලද Kinner Airster වර්ගයේ ගුවන් යානයක් මිලදී ගත්තාය. ඈ ඊට “කැනරි පක්ශියා” ලෙස නම් තැබූ අතර ඉන් කාන්තාවක විසින් තැබූ අඩි 14,000 පියාසර වාර්තාව අත්පත් කර ගත්තාය.

ඇමීලියා ඉයර්හාර්ට් ඇගේ Kinner Airster යානය සමඟ

1928 අප්‍රියෙල් එක් සැඳැවක ඇයට දුරකතන ඇමතුමක් ලැබුණි. ඉන් කියැවුනේ අත්ලාන්තික් සාගරය හරහා නොනැවතී එකදිගට පියාසර කරන පළමු කාන්තාව වීමට ඔබ කැමතිද යන ආරාධනයයි. එවකට ප්‍රසිද්ධ ප්‍රකාශකයකු වූ G. P පට්නම් ගෙන් ලැබුණු මෙම ආරාධනය සතුටින් භාරගත් ඇය “Friendship” ලෙස නම් කරනු ලැබූ Fokker F7 යානයකින් 1928 ජුනි 17 කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි ට්‍රෙප්සී වරායෙන් ගමන් අරඹා පැය 21 ක පමණ පියාසර කාලයකින් පසුව එක්සත් රාජධානියේ වේල්ස් හි බරී වරාය වෙත පැමිණියාය.

1928 ජුනි 18 දින අත්ලන්තික් සාගරය හරහා නොනැවතී පියාසර කළ පළමු කාන්තාව ලෙස ඇමීලියා ඉයර්හාර්ට් වේල්සයේ බරී වරායේ නවතා ඇති Frienship යානා ද්වාරය අභිමුව පෙනී සිටින්නීය.

ඇමීලියා මෙම ගමනට සම්බන්ධ වූයේ ගුවන් මගියෙකු ලෙස පමණක් වූ අතර ගුවන් නියමු විල්මර් ස්ටල්ට්ස්  සහ ලුවී ඊ. ගෝර්ඩන් ඇගේ කණ්ඩායමේ සාමාජිකයන් වූහ. ඇගේ මෙම ගමන පිළිබඳව පුවත ලොව පුරා ප්‍රචලිත වූයේ ඊට පෙර මෙම උත්සහය දැරූ ගුවන් නියමුවන් තිදෙනෙකු මරුමුවට පත් වූ නිසාය. ඇය නැවත මව් රටට පැමිණි පසු එවකට ඇමරිකානු ජනාධිපති කැල්වින් කූලිජ් විසින් ඉහළ පිළිගැනීමකට ලක් වූ අතර ඇයව පිළිගැනීම සඳහා නිව්යෝක්හි දැවැන්ත මහජන පෙළපාලියක් ද පැවැත්වින.

නිව්යෝර්ක් වීදි ඔස්සේ ඇමරිකානු ජනතාව අති උත්කර්ශවත් ලෙස ඇමීලියා ඉයර්හාර්ට් ව පිළිගනී

1931 පෙබරවාරි 7 වන දින ඇය G.P පට්නම් (අත්ලන්තික් පියාසැරිය පිළිබඳව ඇයට යෝජනාව ගෙන ආ ප්‍රකාශකයා) සමඟ විවාහ වූ නමුත් ඉනික්බිති පට්නම් ගේ වාස ගම ඇගේ නාමය ට එකතු කර නොගත් අතර දිගටම ඇමීලියා ඉයර්හාර්ට් ලෙසම පෙනී සිටියාය. එසේම ඇය ලියමනකින් පට්නම් ගෙන් ඉල්ලා සිටියේ ඇයගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් එය කසාදයකටත් වඩා එකඟතාවයකට පමණක් සීමා කරන ලෙසයි.

1928 අත්ලන්තික් ගුවන් ගමනින් ඇය ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් වුවද ඇය එම ගමනේ ගුවන් මගියක පමණක් වූ හෙයින් ඇය ඉන් සතුටු වූයේ නැත. ඈ විශ්වාස කළේ ඇය මෙම ප්‍රසිද්ධිය පිණිස සුදුස්සෙකු නොවන බවයි. පට්නම් හා එක්ව කළ සැළසුම් වලින් 1932 මැයි 20 දින ඇය සාර්ථක ලෙස අත්ලන්තික් හරහා තනිව පියාසර කළාය.

එහිදී ඇයගේ ගමනාන්තය පැරීසිය වුවද ගමන අතරතුර ඇති වූ යාන්ත්‍රික දෝශ මෙන්ම දැඩි උතුරු සුළඟත් අයිස් වැසි තත්වයත් නිසා ඇයට තම යානය අයර්ලන්තයේ ලන්ඩන්ඩැරි තණබිම මත ගොඩබෑමට සිදු විය. “මා යාබද ගවයින් බොහෝ සේ බියට පත් කළා. අවසානය ගොවිබිමක ගමනාන්තය සටහන් කළා.” ඇය පවසූවාය.

එවකට ඇමරිකානු ජනාධිපති හර්බර්ට් හූවර් ඇමීලියාගේ මෙම වීර ක්‍රියාව අගයනු වස් ජාතික භූගෝලීය සංසදයේ රන් සම්මානය ඇයට පුද කළේය. තවද, උප ජනාධිපති චාර්ල්ස් කර්ට්ස් පැවසූයේ ඇය ගුවන් ගමන් වලදී පිරිමි-ගැහැණු සම මට්ටමේ සිටින බව සාක්ශාත් කළ බවත් ඇය ඒ වෙනුවෙන් තම ජීවිතය ද අවදානමට ලක් කළ බවත් ය.

ඉන්පසුව ඇය තවත් බොහෝ පියාසර වාර්තා බිහි කළාය. ඇය තැබූ autogyro යානා පියාසර කළ අඩි 18,415 උපරිම උස වාර්තාව බොහෝ කළක් නොබිඳී පැවතිනි. 1935 ජනවාරි 11 ඇය පැසිෆික් සාගරය හරහා හොනලුලූ සිට කැලිෆෝර්නියා හි ඕක්ලන්ඩ් දක්වා තනිව නොනැවතී පියාසර කළ ලොව පළමු වැන්නා බවට පත් විය.

පසුව එම වසරේම ඇය මෙක්සිකෝ නගරයේ සිට නෙවාර්ක් දක්වා ලොව පළමු වරට නොනැවතී පියාසර කළාය.

ඒ 1937 වසරයි. ඇමීලියා ඉයර්හාර්ට් ගේ මීළඟ ඉලක්කය වූයේ සමකය ඔස්සේ ලොව වටා පියාසර කරමින් වාර්තාවක් පිහිටුවීමටයි. 1937 ජූලි 2 දින ගමනාත්තයට සැතපුම් 7000ක් තිබියදී ඇය ගමන් කළ යානයේ ඉන්ධන අවසන් වී ඇයත් ඇයගේ නියමු සහායක ෆ්‍රෙඩ් නූනන් ත් අභිරහස් ලෙස මධ්යම පැසිෆික් මුහුදේ සැඟව ගියෝය.

ඇමීලියා ඉයර්හාර්ට් සහ ඇගේ නියමු සහායක ෆ්‍රෙඩ් නූනන්

ඇගේ ගමනාන්තය නියම වී තිබුණේ ජනාවාස නොවූ මධ්යම පැසිෆික් දූපතක් වූ හොව්ලන්ඩ් දූපතයි. එහිදී ඇගේ යානයට අවශ්‍ය තෙල් සහ අනෙකුත් සහය ලබා දීම පිණිස ඇමරිකානු ඉටස්කා නෞකාව දූපත අසළම නැංගුරම් ලා තිබුණි. පැය 20 ක පමණ වෙහෙසකර ගුවන් ගමනකින් පසුව අධික වළාකුළු තත්වයන් යටතේ ඇයට මෙම කුඩා දූපත මග හැරී ගොස් ඇත. රේඩියෝ සම්බන්ධතා වල දෝශයක් නිසා ඉටස්කා නැවේ බලධාරීන්ට ඇයව හොඳින් ශ්‍රවණය වුවද ඇයට ඔවුන් ව ශ්‍රවණය වූයේ නැත. උදෑසන 8.45 ට පමණ ඇගේ අවසන් රේඩියෝ පණිවුඩය සටහන් විය.

ඒත් සමඟම දැවැන්ත මුහුදු-ගුවන් මෙහෙයුමක් දියත් වූවද 1937 ජූලි 18 වන විටත් යානයේ හෝ මළ සිරුරු වල කොටසක් හෝ සොයා ගත නොහැකි වූ අතර බලධාරීන් සෙවීම් මෙහෙයුම එදින නවතා දමන ලදි.

දෙවන ලෝක යුද්ධයේ ආරම්භයත් සමඟ ඇමීලියාගේ අභිරහස් අවසානය පිළිබඳව ලොව අවධානය කෙමෙන් අඩු වී ගියත් ඉන්පසුව මෙම සිදුවීම වරින් වර පුවත් මවන්නට විය. ඇගේ යානය මධ්‍යම පැසිෆික් මුහුදේ ගිලී යන්නට ඇති බව බොහෝ දෙනා සැක කළ අතර තවත් අය පැවසූයේ ජපනුන් විසින් ඇයව අල්ලාගෙන මරා දමන්නට ඇති බවයි. කෙසේ වුවද ඉතාමත් එඩිතර, දක්ශ ගුවන් පුරෝගාමියෙකුගේ අවසානය එලෙස සටහන් විය.

පසු කතා

  • 1938 දී හොව්ලන්ඩ් දූපතේ ඇමීලියා ඉයර්හාර්ට් නමින් ප්‍රදීපා ගාරයක් ඉදි කරන ලදි.
  • ඇමරිකා එක්සත් ජනපදය පුරා වීදි, පාසල්, ගුවන් තොටුපොලවල් ඇමීලියා ඉයර්හාර්ට් නමින් නම් විය.
  • වාරිශිකව ඇමීලියා ඉයර්හාර්ට් ත්‍යාගය මෙන්ම ශිෂ්‍යත්ව වැඩ පිළිවෙලක් ද ආරම්භ විය.
  • 1940 දී ඇමීලියා අතුරුදහන් වූ මුහුදු ප්‍රදේශය ආසන්නයේ පිහිටි නිකුම්රෝරෝ දූපතින් නැවියෙකුගේ බිඳුනු ඇටසැකිළ්ලක් හමුවී ඇති අතර එය ඇමීලියා ට සමහර සමාන කම් දක්වා ඇත. 1941 දී බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු විසින් කරන ලද එම ඇට සැකිල්ලේ මිණුම් සටහන් පෙන්වා දී ඇත්තේ ඒවා බොහෝ දුරට ඇමීලියාගේ සිරුරේ මිණුම් සමඟ ගැළපුනත් ඒවා හරියටම ඇමීලියාගෙ බව තහවුරු කරගැනීමට තරම් ප්‍රමාණවත් නොමැත.
  • 2009 දී ඇයගේ කතාව පදනම් කරගෙන Amelia සිනමා කෘතිය නිර්මාණය විය.

මුළු පරිශීලකයින් 78 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *